සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පසුගියදා (24) රත්නපුර පිහිටි සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී, වැඩ භාරගනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පත් කරනු ලැබ ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පසුගියදා (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතාට භාර දෙන ලදී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ජයසේකර මහතා, මෙම පත්කිරීම සිදු කරනු ලබන විට, ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂකර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටියේය.
එසේම, ඒ මහතා ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කටයුතු ආදී අමාත්‍යාංශවල ලේකම් ලෙසද, ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ඌව පළාත් සභාවේ ලේකම් ලෙස මෙන්ම ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙසද සේවය කර තිබේ.
මීට අමතරව, මොනරාගල, තණමල්විල සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම් ලෙසද ජයසේකර මහතා කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල, රත්නපුර දිස්ත්‍රික් ලේකම් ලලිත් ආනන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



