කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරු සේවකයින් විසින් ඉදිකළ භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකය පසුගියදා සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් ජනතා අයිතියට පවරනු ලැබීය.
මෙම ඒකකය පිහිටා ඇත්තේ අරණායක වාකිරිගල ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේය.
රියදුරන්ට අමතරව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන්ද ඊට දායකත්වය ලබා දී ඇත.
අංශභාගය, හන්දි අමාරුව, අනතුරුවලට ලක්වීම් හේතුවෙන් ආබාධවලට ලක්වූවන් වෙත මෙම භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකයෙන් ප්‍රතිකාර ලබාදීම සිදු කරයි.
දැනට සබරගමුව පළාත් සභාව මගින් පාලනය වන කිසිදු බාහිර රෝහලක මෙම සේවාව ලබාදීමේ පහසුකම නොමැත.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන රත්නපුර ශික්ෂණ රෝහල සහ කෑගල්ල දිස්ත්‍රික් රෝහල යන රෝහල් මගින් මෙම ප්‍රතිකාර ලබාගත හැකිය.
මේ සඳහා රියදුරන් හා වෙනත් නිලධාරීන් මුදලින් රුපියල් 70,000ක මුදලක් සහ ඉවතලන උපකරණ ලබා දී ඇත.
කෑගල්ල දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලය සතියට දින දෙකක් මෙහි භෞත චිකිත්සක පුනරුත්ථාපන සේවාව ලබාදීමට කටයුතු කර ඇත.
මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ වාකිරිගල ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ අතහැර දමා තිබූ ගොඩනැගිලි සංකීර්ණයකය.
සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය අතින්, මෙම ඉදිකිරීමට මැදිහත් වූ රියදුරන් සහ කාර්ය මණ්ඩලය විශේෂ ඇගයීමකට ලක් විය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර, කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නතාර්ෂනී පෙරියසාමි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ


