සබරගමුවෙ අහස් කුසින් 50M ජාතික විදුලි පද්ධතියට

සබරගමුව පලාත් සභාව සතු රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි පද්ධති උපයෝගී කරගනිමින් 50M ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.

එම ව්‍යාපෘතිය පිලිබඳව හදුන්වාදීම සබරගමුව පලාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි පලාත් සභා ශ්‍රවණාගාරයේදී අද (22) සිදුවිය.

සබරගමු පළාත් සභාව සහ පෞද්ගලික ව්‍යාසායකයින් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ඒ අනුව සබරගමුව පලාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල පිහිටි රෝහල්, පාසල් ඇතුලු රාජ්‍ය ආයතන වල වහලවල් මත සවි කර ඇති සූර්ය කෝෂ පද්ධති ආශ්‍රිතව 50M ක ධාරිතාවයෙන් යුක්තව විදුලි බලයක් ජනනය කිරීමට අපේක්ෂා කරයි.

ඒ අනුව සබරගමුව පලාතේ එක් රාජ්‍ය ආයතනයක 20kw උපරිම ධාරිතාවයෙන් යුක්ත ව ජනනය වන විදුලි බලය ලංකා විදුලි බල්ල් මණ්ඩලයන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

එම සූර්ය කෝෂ පද්ධති සවිකිරීම, එම විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ඇතුලු සියලු කාර්යයන් සහ නඩත්තු කටයුතු සබරගමුව පලාත් සභාව සමග ගිවිසුම් ගත වූ ව්‍යවසායකයින් මගින් මුලුමනින්ම දරයි.

මෙලෙස ජනනය වන විදුලිබලය අලෙවි කිරීමෙන් ලැබෙන ලාභයෙන් 15.6%ක් ප්‍රමාණයක් සබරගමුව පලාත් සභාව සදහා ලබා දීමට ගිවිසුම්ගත එම සමාගම් එකග වී ඇත.

වසර 20කට පසුව මෙම පද්ධතිවල පූර්ණ අයිතිය සබරගමුව පලාත් සභාවට හිමි වේ.

මෙම ව්‍යාපෘතිය හරහා ජනනය වන කාර්මික කසල සියල්ල ප්‍රතිචක්‍රිකරණය කිරීමෙ වගකීම මුලුමනින්ම ගිවිසුම් ගත සමාගම සතුවේ.

ඌව පලාත් සභාව සහ පෞද්ගලික ව්‍යවසායක ආයතනයක් එක්ව මෙම ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව රුපියල් මිලියන 200ක් පමණ වාර්ෂිකව ඌව පලාත් සභාව වෙත මෙම ව්‍යාපෘතිය මගින් හිමිවන බව මෙහි දී සදහන් කෙරිණි.

ඌව පලාත් සභාව සතු රාජ්‍ය ආයතනවල සමස්ත වාර්ෂිකව විදුලිබිල රුපියල් මිලියන 75ක් ද,එම මුදල පියවා විශාල ලාභයක් උත්පාදනය කර ගැනීමට මෙම ව්‍යාපෘතිය මගින් හැකියාව ලැබෙන බවද මෙහි දී හෙලිදරව් විය..

උතුරුමැද,දකුණ,බස්නාහිර,මධ්‍යම හා සබරගමුව පලාත් සභාවල රාජ්‍ය ආයතනවල මෙම සූර්ය කෝෂ පද්ධති මගින් විදුලිය ජනනය කිරීමට සැලසුම් සකස් කර ඇත.

මෙවැනි පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය තුලින් විශාල විදෙස් විනිමයක් ශ්‍රී ලංකාව තුල ඉතිරි කර ගැනීමට හැකිවේ.

මෙම අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, සැලසුම් අධ්‍යක්ෂ ලලිත් බඹරබොටුව ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.