සබරගමුව පළාත් ආණ්ඩුකාර සහ ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර හමුවක්

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර හමුවක් රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේදී පසුගියදා (18) පැවැත්විණි.

ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ Save the Children සංවිධානය එක්ව රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සෞඛ්‍ය සහ පෝෂණ තත්වයන් ගොඩනංවා වෙළදපල ද සංධානගතව ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට (Promoting Autonomy for Literacy and Alternativeness through Market Alliance Programmed Project (PALAMA)) සමගාමීව මෙම හමුව පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂයේ සිට ආරම්භවී වර්ෂ තුනක් ක්‍රියාත්මක වන අතර ඊට ශ්‍රී ලංකාවේ මුදල්, සෞඛ්‍ය සහ අධ්‍යාපන යන අමාත්‍යාංශවල දායකත්වය හිමිවේ.

එම ව්‍යාපෘතිය රත්නපුර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක හත තුළ ක්‍රියාත්මකය.

මේ යටතේ එම දිස්ත්‍රික්ක හතේ 01 ශ්‍රේණිය සිට 05 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය හදාරන පාසල් 856 ක දරුවන් 108,273 ක් ප්‍රතිලාභ ලබයි.

දරුවන් පාසලට පැමිණිම, සාක්ෂරතාව හා සෞඛ්‍ය ප්‍රවර්ධනය, පාසල් ආහාර ප්‍රවර්ධනය, ආහාර සුරක්ෂිතභාවය, යහපත් සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳව ගුරුවරුන හා නිලධාරින් දැනුවත් කිරීම, පාසල් මුළුතැන්ගෙවල් සහ සනීපාරක්ෂක පද්ධති ඉදි කිරීම ද මේ යටතේ ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය තුළින් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඇඹිලිපිටිය, නිවිතිගල හා රත්නපුර යන කලාපයන්වල පාසල් 147ක දරුවන් 12,463 ක් ප්‍රතිලාභ ලබයි.

මෙහිදී අදහස් දැක්වූ සබරගමු පලාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසූවේ මැණික් කර්මාන්තයේ යෙදෙන ප්‍රජාවගේ සහ වතු ප්‍රජාවගේ දරුවන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවය.

අධ්‍යාපනයේ අයිතිය සබරගමු පළාතේ සියලු දරුවන් වෙනුවෙන් ලබා දීමට සබරගමු පළාත් සභාව කටයුතු කර ඇති බවද ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී සඳහන් කළේය.

සබරගමු පළාතේ මුහුදු මට්ටමින් ඉහලම ස්ථානයේ ඇති ගම්මානය වන බලංගොඩ නන්රැග් ගම්මානයේ දෙමළ විද්‍යාලයේ දරුවන් 64 ක් පමණ සිටින එම විද්‍යාලයේ දරුවන් සඳහා බවත් සබරගමු පළාත් සභාව මඟින් නේවාසික පහසුකම් ඇතුළු භෞතික සහ මානව සම්පත් ලබා දීම ඊට එක් නිදර්ශකයක් බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

පළාත් සභා පරිශ්‍රය, පළාතේ රෝහල් සහ පාසල්වල පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය සඳහා සබරගමු පළාත් සභාව කටයුතු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

ආහාර සුරක්ෂිතතාවය ඉලක්ක කර ගනිමින් සබරගමු පළාත් පාසල්වල අක්කර 600 ද පළාතේ සියලු රාජ්‍ය ආයතනවල භූමිය ද වගා කිරීම සඳහා කටයුතු කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මීට එක් වූ ඇමෙරිකානු එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පැවසුයේ මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස පළාතේ වෙසෙන ගොවීන්ගේ සහ ගැමියන්ගේ එළවළු, ධාන්‍ය වැනි ද්‍රව්‍ය මිලට ගෙන දරුවන් වෙත නොමිලේ ආහාර ලබා දීමේ ව්‍යාපෘතියක් ද සැලසුම් කර ඇති බවය.

මේ සදහා ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් Senior International Program Specialist Alberghin Panl, Program Analyst Collin Bradly, Agri Specialist Thilani Kankanmge (USDA Team), Chief of Party PLAM/A Project Micah Olad, Deputy Chief of Party PLAM/A Project Rashika Dias යන මහත්ම මහත්මීන් ද Save the Children සංවිධානය වෙනුවෙන් Field Manager Nalinda Karunarathna, Education Manager Thaindu Samarathunga, Commodity Coordinator Wimal Jayathilaka, Senior Community Manager Sampath Prasantha යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල,පළාත් අධ්‍යාපන ලේකම් සුජානි විජේතුංග, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, සබරගමු පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු කෝරාලෙගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.